NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

17 March 2019

ටැබිලට් හා නෝට්බුක් දෙමුහුම් උපාංග අතර නවතම තරගකරු


   
 2-in-1 Detachable උපාංග යනු තවදුරටත් වර්තමාන ලෝකයට ආගන්තුකයින් නොවේ. මෙයට වසර කිහිපයකට පෙරාතුව ටැබ්ලට් උපාංගයක් මිලදී ගත් බොහෝ දෙනෙකු එය භාවිත කළේ ඩෙක්ස්ටොප් හෝ ලැප්ටොප් පුද්ගල පරිගණකයකට විකල්පයක් ලෙසින් නොවේ. පුද්ගල පරිගණකයකට වඩා ජංගම ගුණයෙන් යුතු වීම නිසාත්, වඩාත් හුරුබුහුටි වීම නිසාත් ටැබ්ලට් උපාංගයක් පරිගණකයකින් ඉ‍ටු කරගන්නා විනෝදාස්වාද කටයුතු හෝ අන්තර්ජාල සැරිසැරීම් හෝ ඊමේල් පරීක්ෂා කිරීම් වැනි කරුණු සඳහා බොහෝ දුරට භාවිත විණි. කෙසේ වෙතත් ලිපිලේඛන කටයුතු, නිර්මාණ කටයුතු වැනි දේ සඳහා බොහෝ දෙනෙකු ස්පර්ශ තිරයක් පමණක් ආදානය ලෙසින් ඇති ටැබ්ලට් උපාංගයක් හා කටයුතු කිරීමට මැලිවූ අතර, ඒ සඳහා පුරුදු පරිදිම ලැප්ටොප් හෝ ඩෙක්ස්ටොප් පරිගණකයක් භාවිතා කිරීම සිදුවිණි. කෙසේ වෙතත් 2-in-1 උපාංගයන් සමගින් තවදුරටත් පුද්ගල පරිගණකයක් සමගින් ටැබ්ලට් උපාංගයක් භාවිත කිරීමට අවශ්‍ය නොවනු ඇත. පුද්ගල පරිගණකයකින් මෙන්ම ටැබ්ලට් උපාංගයකින්ද ඉෂ්ට විය යුතු කාරණා අපහසුවකින් තොරවම පරිශීලකයින්ට ලබාදීමට මෙම 2-in-1 උපාංග සමර්ථ වනු ඇත.
හඳුන්වා දෙන Google Pixel Slate යනුද නවීනතම ටැබ්ටොප් නැතිනම් ලැප්ලට් නැතිනම් 2-in-1 උපාංගයකට උදාහරණයකි.
වඩාත් මිලෙන් අධික, ඉහළ පන්තියක 2-in-1/ ටැබ්ලට් උපාංගයක් හඳුන්වා දීම සඳහා ගූග්ල් සමාගම විසින් ගත් වෑයමක් ලෙසින් බොහෝ දෙනා දකිනා මෙම Google Pixel Slate උපාංගයේ විශේෂත්වයක් ඇත. ඒ ගූග්ල් සමාගමේ නිෂ්පාදනයක් සමගින් බොහෝ දෙනෙකු බලාපොරොත්තු වන්නේ එය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මතින් ධාවනය වනු ඇති බව වූවත්, සැබවින්ම Google Pixel Slate උපාංගය ධාවනය වන්නේ Chrome OS මතින් වීමයි. ගූග්ල් සමාගම මගින් හඳුන්වා දුන් Chrome බ්‍රවුසරයට පසු, ඒ අනුසාරයෙන් උපත ලැබූ Chrome OS මෙහෙයුම් පද්ධතිය මේ වනවිට සැහැල්ලු නමුත් ප්‍රබල මෙහෙයුම් පද්ධතියක් ලෙසින් නමක් දිනාගෙන තිබේ.
අඟල් 12.3ක Molecular Display™ නමින් හඳුන්වා දෙන LCD තිර පැනලය අඟලකට පික්සල් 239ක විභේදනයකින් (3000x2000) හා පික්සල් මිලියන 6 කින් යුක්ත වේ. මේ ඔස්සේ පරිශීලකයාට තිර විභේදනයකින් සුපැහැදිලි දසුන් නැරඹීමට හැකියාව ලැබී ඇත. එයට Google Pixelbook Pen support සහායද ඇත. 
ගූග්ල් මගින් Pixel Slate උපාංගය එකිනෙකට වෙනස් දෘඩාංග සැකසුම් වලින් යුතු සංස්කරණයන් හතරක් ලෙසින් එළිදක්වා ඇත. පළමුවැන්න Intel® Celeron® ප්‍රොසෙසරයකින් යුතු වන අතර, ‍රැම් මතකය හා අභ්‍යන්තර මතකය පිළිවෙලින් 4GB හා 32GB, 8GB හා 64GB ලෙසින් වන අනු සංස්කරණයන් දෙකක් ලෙසින් ලබාගැනීමට ඇත. මෙය ඇමරිකානු ඩොලර් 599 කට මිල කෙරී ඇත. දෙවෙනි සංස්කරණයේ 8th Gen Intel® Core™ m3 ප්‍රොසෙසරයක්, ‍8GB රැම් මතකයක් හා 64GB අභ්‍යන්තර මතකයක් ඇති අතර මිල ඇමරිකානු ඩොලර් 799ක් ලෙසින් සඳහන් වේ. තුන්වන සංස්කරණයේ 8th Gen Intel® Core™ i5 ප්‍රොසෙසරයක්, ‍8GB රැම් මතකයක් හා 128GB අභ්‍යන්තර මතකයක් ඇති අතර මිල ඇමරිකානු ඩොලර් 999 ක් ලෙසින් සඳහන් වේ. අවසාන වශයෙන් හතරවන සංස්කරණයේ 8th Gen Intel® Core™ i7 ප්‍රොසෙසරයක්, ‍16GB රැම් මතකයක් හා 256GB අභ්‍යන්තර මතකයක් ඇති අතර මිල ඇමරිකානු ඩොලර් 1599 ක් ලෙසින් සඳහන් වේ.
මෙහි තිරය සමගින් ස්ථාපනය කොට ඇති  Front-firing ද්විත්ව ස්පීකරයන් තිබෙනා අතර වඩාත් වැඩිදියුණු කළ noise cancellation හැකියාව සමගින් වූ මයික්‍රෆෝනයන් දෙකක්ද තිබේ. ඉදිරිපස ස්ථාපනය කොට ඇති Duo Cam ලෙසින් හැඳින්වෙන ද්විතීයික කැමරාව මෙගාපික්සල් 8කින් හා 
f/1.9 ක ඇපචරයකින් යුක්ත වන අතර පුළුල් දෘෂ්ටි පථයකින් සමන්විත වේ. පසුපස ප්‍රධාන කැමරාවද මෙගාපික්සල් 8 ක විභේදනයකින්, f/1.8 ක ඇපචරයකින් යුක්ත වන අතර Autofocus හැකියාව සහිත වේ. මෙම කැමරා දෙකටම තත්පරයට රාමු 30 ක ශීඝ්‍රතාවයෙන් 1080p HD වීඩියෝ ග්‍රහණය කරගැනීමට හැකියාව ඇත.
Wi-Fi: 802.11 සහ ‍ Bluetooth® 4.2 රැහැන් රහිත සම්බන්ධතා සහාය මෙහි ඇත. එසේම Pixel Slate යතුරු පුවරුව සඳහා වන කනෙක්ටරයට අමතරව 4K තිර ප්‍රතිදානය සඳහා, ශීඝ්‍ර දත්ත හුවමාරුව සඳහා සහ බැටරිය ආරෝපණය සඳහා USB-C පෝට් දෙකක්ද මෙහි තිබේ. සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක මෙන් 3-axis Gyroscope/Accelerometer, Ambient light sensor, Hall Effect Sensor යන සෙන්සරයන් මෙහි තිබේ. 
මෙහි ආරක්ෂාව සඳහාද විශේෂ අවධානයක් යොමු කොට ඇති බව පෙනී යයි. Pixel Slate උපාංගයේ Pixel Imprint™ ඇඟිලි සළකුණු කියැවීමේ සෙන්සරයක් ඒ සඳහාම වෙන්වූ මයික්‍රෝ ප්‍රොසෙසර කොන්ට්‍රෝලරයක් සහිතව ස්ථාපනය කොට තිබේ. එසේම Titan™ ආරක්ෂක චිපයක් මෙහි ස්ථාපනය කොට ඇති අතර, ඒ මගින් ඔබේ සංවේදී තොරතුරු, මුරපද මෙන්ම සමස්ත මෙහෙයුම් පද්ධතියම සඳහා ආරක්ෂාව ලබාදේ.
ගූග්ල් සමාගම විසින් Pixel Slate උපාංගයේ බැටරි බලය සම්බන්ධයෙන්ද විශේෂයෙන්ම සඳහන් කරයි. මෙහි ඇති 48Wh බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය කළ විට සාමාන්‍ය භාවිතය ඔස්සේ පැය 12 ක් පමණ බලය ‍රැඳී පවතිනු ඇත. එසේම Fast recharge හැකියාව යටතේ ඔබට උපාංගය මිනිත්තු 15 ක් පමණ ආරෝපණය කොට, පැය දෙකක ක්‍රියාත්මක කාලයක් සඳහා බැටරි බලය ලබාගැනීමට හැකිවනු ඇත.
ශක්තිමත් ඇලුමිනියම් නිමාවකින් යුක්ත වන Pixel Slate උපාංගයේ බර ග්‍රෑම් 731ක් පමණ වන අතර, මෙය මිලිමීටර් 7ක් තරම් සිහින් නිමාවකින් යුක්ත වේ. මෙහි තිරයට Corning® Gorilla® Glass 5 පැනලයකින් අමතර ආරක්ෂාවක් සැපයී ඇත.
පරිශීලකයෙකුට Pixel Slate උපාංගය භාවිතා කිරීමේදී ආකාර දෙකක් ඔස්සේ එය හැසිරවීමේ විකල්පයන් Chrome OS මෙහෙයුම් පද්ධතිය වෙතින් ලබාදේ. ඒවා නම් මෙයට සම්බන්ධිත යතුරු පුවරුව සහ මවුසය සමගින් ඩෙක්ස්ටොප්/ලැප්ටොප් පරිගණකයක් ලෙසින් භාවිත කිරීම හෝ සම්පූර්ණ ටැබ්ලට් උපාංගයක් ලෙසින් ස්පර්ශ තිරය භාවිතයෙන් මෙය හැසිරවීම යන විකල්පයන් වේ. එසේම මේ සමගින් භාවිත කළ හැකි Pixelbook Pen ස්ටයිලස් උපාංගය සමගින් ඔබට මෙය ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් ලෙසින් භාවිත කළ හැකි අතර, තවත් බොහෝ කටයුතු ඉ‍ටු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.
සමස්තයක් ලෙසින් ගත් විට Pixel Slate යනු ආකර්ෂණීය, නවීන පෙනුමකින් සහ ප්‍රබල හැකියාවන්ගෙන් යුක්ත 2-in-1 උපාංගයකි. කෙසේ නමුත් දෘඩාංග බලය අතින් මෙන්ම Chrome OS මෙහෙයුම් පද්ධතියෙන් ලබාදෙන හැකියාවන් සමගින්ද බැලූ විට කිව හැක්කේ මෙයට තවත් දියුණු වීමට ඉඩ ප්‍රස්ථාව ඇති බවයි.
පැතුම් පුංචිහේවා

0 comments:

Post a Comment

Write your comment and submit as a massage