NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

17 March 2019

වඩාත් පහසු කියැවීමක්


මේ වනවිට ඉලෙක්ට්‍රොනික උපාංග අපගේ එදිනෙදා ජීවිතයේ අතිවිශාල කොටසක් ආවරණය කරන්නට සමර්ථ වී තිබුණත්, කියැවීම සම්බන්ධයෙන් ගත් විට තවමත් බොහෝ දෙනෙකු ප්‍රිය කරන්නේ පැරණි ක්‍රමයට මුද්‍රිත පොතක් කියැවීමට බව නොරහසකි. මුද්‍රිත පොතක් වෙනුවට ස්මාට්ෆෝන් හෝ ටැබ් එකක යෙදුමක් ඔස්සේ කියැවිය හැකි ඊ-පොතක් සාර්ථක නොවන බවට අප සැමදෙනාටම එකඟ වීමට හැක. එසේ වුවත් ඊ-පොත් කියැවීම සඳහාම නිර්මාණය වූ ඊ-බුක් රීඩරයන් වෙනුවට මුද්‍රිත පොත් ‍තෝරාගන්නා බොහෝ දෙනෙකු ඒ සඳහා ඉදිරිපත් කරනා කරුණු අතරට, පොතක නැවුම් සුවඳ නොදැනීම හෝ පොතක පි‍ටු පෙරළන හැඟීම නැතිවීම හෝ වැනි සැබෑ පොතක් සමගින් පැමිණෙන රොමාන්තික කාරණාවන් අයත් වෙයි. කෙසේ වෙතත් බොහෝ ඊ-බුක් රීඩරයන් භාවිතා කරන්නන්ගේ අත්දැකීම වන්නේ, ඊ-බුක් රීඩරයක් භාවිතා කළත් මුද්‍රිත පොත් මිලදී ගැනීම හෝ කියැවීමද තමන්ගේ කියැවීමේ පුරුද්ද තුළ අභාවයට ගොස් නැති බවයි. මේ නිසාම සාපේක්ෂව සීමිත වෙළෙඳපොළක් ඔස්සේ වුවත් Amazon හෝ Kobo වැනි සන්නාමයන් ඔස්සේ ඊ-බුක් රීඩරයන් වැඩි වැඩියෙන් නිෂ්පාදනය වෙයි.
ඊ-බුක් රීඩරයන් ඔස්සේ පොත් කියැවීමේදී අපට බොහෝ විට දකින්නට ලැබෙන්නේ වැසූ පොතක ආකාරයේ සිරස් අතට වූ රීඩරයන් වේ. සාමාන්‍යයෙන් පොතක පි‍ටුවක් තිබෙන්නේද සිරස් අතට බැවින් මෙය එතරම් ගැටලුවක් නොවේ. නමුත් තිරස් අතටද කියැවිය හැකි ඊ-බුක් රීඩරයකින් ලැබෙන වාසිය වන්නේ වඩාත් විශාල පරාසයක් වඩාත් පහසුවෙන් කියැවිය හැකි වීම මෙන්ම, ඊ-බුක් රීඩරයේ තිරයේ ප්‍රමාණය අනුව ස්වයංක්‍රීයව සකස් නොවෙනා PDF වැනි ගොනු ආකාරයන් වුවත් වඩාත් පහසුවෙන් කියැවීමට හැකියාව ලැබීමයි. හඳුන්වා දෙන Kobo Forma ඊ-බුක් රීඩරය මගින් ලබාදෙන්නේ එම හැකියාවයි.
Kobo Forma ඊ-බුක් රීඩරය සාමාන්‍යයෙන් ඇත්තේ තිරස් අතට වන අතර, එහි පාදම මඳක් වක්‍ර වූ හැඩයක් ගනිමින් වඩාත් පුළුල්ව පිහිටා ඇත. එනිසා තිරය නොවැසෙන සේ පහසුවෙන් එය අල්වා ගැනීමට හැකියාව තිබේ. එසේම අවශ්‍ය නම් සාමාන්‍ය ලෙසින් සිරස් අතට අල්වා ගෙන පොතක් කියැවීමේදීද එම පාදම ඔස්සේ ඊ-බුක් රීඩරය අල්වා ගැනීමට හැකියාව තිබේ. මෙහි භෞතික පාලක බොත්තමක් තිබෙනා අතර, ඒ මගින් තිරය ස්පර්ෂ නොකරමින් පි‍ටු පෙ‍රැළීමට හැකියාව කියවන්නාට ලබා දේ. 
මෙම ඊ-බුක් රීඩරයේ අඟල් 8 ක E-Ink Mobius Carta තිරයක් ඇති අතර, එහි 1440 X 1920 ක තිර විභේදනයක් තිබේ. එනම් සාමාන්‍ය පොතක් පමණක් නොව ඡායාරූපයන් ආදිය ඇති සඟරාවක් වුවත්, කොමික් පොතක් වුවත්, ග්‍රැ‍ෆික් නවකතාවක් වුවත් ඉහළ ගුණාත්මක මට්ටමකින් මෙම තිරය මත දිස්වනු ඇත. එසේම මෙම E-ink තිරය මතින් ආරක්ෂක ප්ලාස්ටික ලේයරයක්ද තිබෙනා බැවින්, තිරයට අමතර ආරක්ෂාවක් සැපයෙනු ඇත. ඔබට රාත්‍රී කාලයේදී කියැවීමට හැකි පරිද්දෙන් අවශ්‍ය ලෙසින් සකසා ගත හැකි තිර ආලෝකයන් සමගින් මෙය පැමිණෙන අතර, වඩාත් රාත්‍රියේ කියැවීමේදී ඇසට පහසු ආකාරයේ ඇම්බර් පැහැයෙන් තිරය ආලෝකවත් වන blue light auto-reduction හැකියාවද මෙහි ඇත.
මෙම ඊ-බුක් රීඩරය සාමාන්‍යයෙන් එදිනෙදා බහුලව භාවිතා වන ඊ-බුක් ගොනු ආකාර, ලිපි ගොනු ආකාර මෙන්ම ඡායාරූප ගොනු ආකාරද 14 ක් දක්වා කියැවීමට සහාය පළ කරයි. ඒවා නම් වශයෙන් සඳහන් කරන්නේ නම් EPUB, EPUB3, PDF, MOBI, TXT, HTML, RTF, CBZ, CBR, JPEG, GIF, PNG, BMP, TIFF වේ. එසේම එකිනෙකට වෙනස් විවිධ ෆොන්ට් වර්ග 11 ක් සහ ෆොන්ට් රටාවන් 50 ක් මෙන්ම කියවන්නාගේ අභිමතය අනුව සීරු මාරු කරගත හැකි ෆොන්ට් සැකසුම්ද මෙහි තිබේ. එසේම මෙහි Book borrowing ආකාරයක්ද ස්ථාපනය කොට තිබෙනා අතර, ඔබට අවශ්‍ය නම් මහජන පුස්තකාලයන්ගෙන් සෘජුවම ඊ-බුක් රීඩරයට පොත් ලබාගත හැක. එය ශ්‍රී ලංකාවේ කෙතරම් සාර්ථක වේදැයි කිව නොහැක්කේ, දැනට අප රටේ පුස්තකාලයන් තුළ ඊ-පොත් පුස්තකාලයන් එතරම් සාර්ථකව ක්‍රියාත්මක නොවන බැවිනි.
මෙහි 1200mAh ප්‍රමාණයේ බැටරියක් තිබෙනා අතර, එය ඔබට එක්වරක් ඊ-බුක් රීඩරය ආරෝපණය කළ පසුව සති කිහිපයක් භාවිතා කිරීමේ හැකියාව ලබාදෙයි. එසේම මෙහි අභ්‍යන්තර ගිගාබයිට් 8 ක මතක ධාරිතාවක් තිබෙනා අතර, එය ඔබට ඊ-පොත් දහස් ගණනක් සුරක්ෂිත කොට තැබීමට අවකාශය ලබාදෙනු ඇත.
සාමාන්‍යයෙන් මුද්‍රිත පොතක් මඳ තෙතමනයකින් වුවත් ආරක්ෂා කිරීමට සිදුවන නිසා, ඉතාම හොඳ කාලගුණයක් තිබෙනා මොහොතක විනා ඔබට එළිමහනකදී මුද්‍රිත පොතක් කියැවීම සඳහා ලැබෙන ඉඩ ප්‍රස්තාව අවම වේ. එනමුත් වර්තමානයේ වෙළෙඳ පොළට පැමිණෙන ඊ-බුක් රීඩරයන් තෙතමනයෙන් හෝ ජල බිඳිති විසිරීමෙන් කිසිදු හානියක් නොවෙනා ආකාරයේ නිමාවකින් පැමිණේ. මෙම Kobo Forma ඊ-බුක් රීඩරයද IPX8 තත්ත්ව සහතිකය සමගින් පැමිණේ. එහි අදහස වන්නේ පොද වැස්සකට මෙය ඔරොත්තු දෙන බව පමණක් නොව, අඩි 66 ක් දක්වා ගැඹුරක ජලය තුළ මෙය ගිලී ගියත් කිසිදු හානියක් නොපැමිණෙන බවයි. එනම් ඔබට නාන තටාකයක පාවෙමින් වුවත් කිසිදු බියක් ඇති කර නොගනිමින් පොතක් කියැවීමට මෙයින් අවකාශය ලැබෙනු ඇත.
මෙම Kobo Forma ඊ-බුක් රීඩරය නිර්මාණය කිරීමේදී නිෂ්පාදකයින් දිගින් දිගටම රළු භාවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් වී ඇති බව පෙනේ. මන්දයත්, මෙහි ජල ප්‍රතිරෝධී ආරක්ෂාව සහ තිරයට ලැබෙන අමතර ආරක්ෂාවට අමතරවත් කම්පනයන්ට සහ වැටීම් වලට ඔරොත්තු දෙන නිමාවකින් මෙය සැකසීමට ඔවුන් උත්සුක වී ඇති බැවිනි. නිෂ්පාදකයින් පවසනා ආකාරයට Kobo Forma ඊ-බුක් රීඩරය අඩි හයක උසක සිට වැටීමකින් කිසිදු ගැටලුවකින් තොරව ආරක්ෂා වනු ඇත. ඊට අමතරව එදිනෙදා රළු භාවිතයේදී බලාපොරොත්තු විය හැකි සීරීම්, ගැස්සීම්, පෙරළීම් යනාදියටද මෙය සාර්ථකව ඔරොත්තු දෙනු ඇත. පෙනෙනා ලෙසට මෙය කඳවුරු බඳින්නන් වැනි ක්‍රියාකාරකම් වල නියැ‍ෙළන්නවුන්ටද අමතර ආකර්ෂණයක් වන ලෙසින් නිර්මාණය කොට ඇත.
පැතුම් පුංචිහේවා

0 comments:

Post a Comment

Write your comment and submit as a massage