NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

17 March 2019

Microsoft Surface පවුලේ නව බජට් සාමාජිකයා

   
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කළ Surface ස්පර්ෂ තිර ලැප්ටොප් උපාංග පෙළ බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වූයේ එහි ඇති ඵලදායිතාව ඉහළ නංවන බහුවිධ නිපුණතාවන්, හොඳ බැටරි බලය සහ නිහඬ එහෙත් මනා ක්‍රියාකාරීත්වය නිසාවෙනි. කෙසේ නමුත් මෙම Surface උපාංගයන් වෙළෙඳ පොළට හඳුන්වා දෙන ඉහළ මිල නම් බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය දිනාගැනීමට සමර්ථ නොවුණි. මෙහි ගැටලුව වූයේ මෙම උපාංගයන් අධික මිලකින් යුතු වීම නිසා ඉහළ පෙළේ වෘත්තිකයින් හැරෙන්නට වෙනත් අය හට, විශේෂයෙන්ම සිසු ප්‍රජාවන් හට මේ සඳහා ප්‍රවේශ වීමට නොහැකි වීමයි. පෙනෙනා ලෙසට මෙම ගැටලුව විසඳීම සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම මගින් නව Surface උපාංගයක් හඳුන්වා දී ඇත. මේ Microsoft Surface Go ටැබ්ලට්/ලැප්ටොප් උපාංගයයි.
මෙය Surface උපාංග පෙළේ කුඩාම සහ සැහැල්ලුතම සාමාජිකයා ලෙසින් හැඳින්විය හැකි අතර, ප්‍රමාණයෙන් එසේ වුවත් අනෙකුත් Surface උපාංගයන්ගේ ඇති නවීන, සුමට පෙනුම ඒ ආකාරයෙන්ම ‍රැක ගැනීමටද Microsoft Surface Go සමර්ථව ඇත. සාමාන්‍යයෙන් Surface Pro උපාංගයක් ආරම්භ වන්නේම අඩු තරමින් ඇමරිකානු ඩොලර් 799  සිට වුවත්, මෙම Surface Go උපාංගයේ 64GB සංස්කරණය ඇමරිකානු ඩොලර් 399 සිට ඇරඹෙන අතර 128GB සංස්කරණය ඇමරිකානු ඩොලර් 549 සිට ඇරඹෙයි. මෙම Surface Go උපාංගය ධාවනය වන්නේ Windows 10 මෙහෙයුම් පද්ධතිය මතින් වන බවද සැලකිල්ලට ගත් විට සැබවින්ම එය සාපේක්ෂව ඉතාමත් අඩු මිලකි.
මෙම Surface Go උපාංගයේ අඟල් 10 ක PixelSense™ තිරයක් තිබෙනා අතර, එහි විභේදනය 1800x1200  ප්‍රමාණයේ වේ. එසේම මෙම තිරය 10 point multitouch හැකියාවෙන් යුක්ත වන නිසා පහසුවෙන්ම මෙය ටැබ් එකක් ලෙසින්ද භාවිතා කිරීමට හැක. අනෙක් Surface උපාංගයන් සේම මෙයද PixelSense™ තිරය භාවිතා කරනා නිසා එහි දර්ශනය වන දසුන් දීප්තිමත්, සුපැහැදිලි වන බව සහ තියුණු වර්ණයන්ගෙන් යුතු වනු ඇති බවට සහතික විය හැක.
මයික්‍රොසොෆ්ට් සමාගම මගින් මෙම Surface Go උපාංගය හඳුන්වන්නේ Ultra-portable ලෙසින් වන අතර, මෙහි හුරුබුහුටි ප්‍රමාණය සහ බර රාත්තල් 1.15 පමණ වීමද එම හැඳින්වීම සාධාරණීකරණය කරනු ඇත. මෙය ඔබේ බැක්පැක් එකේ වුවත්, පොත් බෑගයේ වුවත්, අතේ වුවත් පහසුවෙන් ගෙනයෑමට හැකියාව තිබේ. මෙය මිලිමීටර් 8.3 ක පමණ සිහින් හැඩයකින් යුක්ත වන අතර, දිගින් සහ පළලින් පිළිවෙළින් මිලිමීටර් 245 ක් සහ මිලිමීටර් 175 ක් පමණ වේ. එසේම මෙහි සරල නමුත් නවීන පෙනුමක් ගෙන දෙන නිමාව පහසුවෙන්ම මෙය Microsoft Surface පවුලේ උපාංගයක් බව කියාපානු ඇත.
කෙසේ නමුත් අනෙකුත් මිලෙන් අධික Surface Pro උපාංගයන් මෙන් ඉහළ දෘඩාංග සැකසුමක් මෙහි දක්නට නොමැති වීම නොවැළැක්විය හැකි කරුණකි. මෙහි මිල වඩාත් පහළ අගයක් ගැනීමටද එය හේතුවක් නිසා එය මෙහි අඩුපාඩුවක් ලෙසින් දැකීමටද නොහැකි වේ. මෙහි පරිගණක බලය සැපයෙන්නේ Intel Pentium Gold ප්‍රොසෙසරයකින් වන අතර, එය Core i5 හෝ Core i7 ප්‍රොසෙසරයක් මෙන් ඉහළ කාර්යක්ෂමතාවක් ලබාදීම සැක සහිත වේ. ග්‍රැ‍ෆික් සැකසුම් බලය ලබාදීම සඳහා මෙහි Intel HD 615 ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරයක් තිබෙනා අතර, 4GB ‍රැම් මතකයක් ස්ථාපනය කොට ඇත. කෙසේ නමුත් අවශ්‍ය නම් ‍රැම් මතකය 8GB දක්වා ඉහළ නැංවීමටද හැකියාව විකල්පයක් ලෙසින් ලබාදී ඇති බවද සඳහන් කළ යුතු වේ. මෙයට අමතරව මතක ධාරිතාවන් දෙකකින් අභ්‍යන්තර මතකය සමන්විත වේ. එනම් 64GB ප්‍රමාණයේ eMMC ධාවකයක් සහ 128GB ප්‍රමාණයේ SSD මතකයකි. මෙහි ඇති මෙම දෘඩාංග හැකියාවන් සමගින් පැහැදිලිවම පෙනී යන්නේ මෙම Surface Go උපාංගය සැලසුම් කර ඇත්තේ කුමක් සඳහාද යන්නයි. මෙය එදිනෙදා වෘත්තීමය, ඉගෙනුම් සහ විනෝදාත්මක කාර්යයන්, ඉතා ඉහළ දෘඩාංග හැකියාවන් ඉල්ලා නොසිටින මෘදුකාංගයන් ඔස්සේ සිදුකළ හැකි ග්‍රැ‍ෆික් නිර්මාණ කටයුතු යනාදිය, වඩාත් විශාල නොවූ පරිගණක ක්‍රීඩා සඳහා මෙය සුදුසු වේ. එනමුත් Surface පවුලේ අනෙකුත් ප්‍රබල සාමාජිකයින් මෙන් වීඩියෝ සංස්කරණයන්, ඔටෝ කැඩ් වැනි සැලසුම් මෘදුකාංග භාවිතා කිරීම්, නවීන සහ විශාල පරිගණක ක්‍රීඩා කිරීම් වැනි ඉහළ හැකියාවන් අවශ්‍ය වන ක්‍රියාකාරකම් සඳහා කිසිසේත්ම මෙම Surface Go ලැප්ටොප් උපාංගය නොගැළපේ.
මෙය ධාවනය වන්නේ Windows 10 S මතින් වන අතර, එය ස්පර්ෂ තිරයක් සහ Surface Pen සහාය සමගින් මනාව ගැළපෙනු ඇත. කෙසේ නමුත් ඔබට අවශ්‍ය නම් Windows 10 සම්පූර්ණ මෙහෙයුම් පද්ධතිය සමගින් Surface Go උපාංගය ධාවනය කිරීම පවා ‍තෝරාගැනීමට හැකියාව ඇත.
Surface Pro හෝ අනෙකුත් ටැබ්ලට්/ලැප්ටොප් දෙමුහුම් උපාංගයන්හි සේම මෙහිද යතුරු පුවරුව චුම්භකිත අල්ලු ඔස්සේ සවි කළ හැකි හෝ ගැලවිය හැකි යාන්ත්‍රණයකින් යුක්තව හඳුන්වා දී ඇත. මෙය එතරම් මිලක් නොවූවත් එය වෙනම මිලදී ගැනීමට සිදුවීමේ ඉහළ හැකියාවක් පවතී. එසේම ඔබට Surface Pen උපාංගයක්ද වෙනම මිලදී ගැනීමට හැකි අතර, ඒ ඔස්සේ ඔබට ඔබේ Surface Go උපාංගය ග්‍රැ‍ෆික් ටැබ්ලට් උපාංගයක් ලෙසින් භාවිතා කිරීමට, පහසුවෙන් අතින් අවශ්‍ය දෑ ලිවීමට වැනි දහසකුත් එකක් වැඩකටයුතු සඳහා භාවිතා කළ හැකි වනු ඇත.
සාමාන්‍ය එදිනෙදා වැඩකටයුතු සඳහා Surface Go උපාංගය භාවිතා කරන්නෙකු වුවත් බලාපොරොත්තු වනු ඇත්තේ භෞතික සම්බන්ධතා ද්වාරයන් කිහිපයක් හෝ තිබීමයි. කෙසේ වුවත් මෙහි තිබෙන්නේ එක් USB-C පෝට් එකක්, 3.5mm හෙඩ්ෆෝන් ජැක් එකක්, Surface Connect පෝට් එකක්, Surface Type Cover පෝට් එකක් සහ MicroSDXC කාඩ් රීඩරයක් පමණි. මේ නිසා ඔබට වෙනත් බාහිර උපාංග මෙයට සම්බන්ධ කිරීමට අවශ්‍ය නම් Bluetooth හෝ 
Wi-Fi ‍රැහැන් රහිත සම්බන්ධතාවන් මත යැපීමට සිදුවනු ඇත. එසේම මෙහි මෙගාපික්සල් 5 ක ඉදිරිපස කැමරාවක් සහ මෙගාපික්සල් 8 ක පසුපස ප්‍රධාන කැමරාවක්ද, තනි මයික්‍රෆෝන් සෙන්සරයක්ද ස්ථාපිත කොට ඇත.
මෙයට අමතරව එක දිගට පැය නවයක් එක් ආරෝපණයකින් බලය සැපයිය හැකි බැටරියක් සහ ද්විත්ව ස්පීකර පද්ධතියක් මෙහි තිබේ. විශේෂයෙන්ම  Surface උපාංගයන්හි බැටරි බලය සම්බන්ධයෙන් විශ්වාසය තැබීමට හැකි බවද සඳහන් කළ යුතුවේ.
අවසාන වශයෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ගෙවන මුදලට මෙය වටින්නේද යන්නයි. සැබවින්ම ඔබ Surface උපාංගයක් මිලදී ගැනීම සලකා බලන්නේ නම් Surface Go යනු ගෙවන මුදලට පාඩුවක් නැති උපාංගයක් යැයි ප්‍රවේසම් සහිතව කීමට හැක.
පැතුම් පුංචිහේවා

0 comments:

Post a Comment

Write your comment and submit as a massage