NEWS FLASH

2024 AL ICT අලුත් පංතියක් ලබන සෙනසුරාදා ප.ව.2.30 ට කුරුණෑගල Convent අසල විද්‍යාලෝක ආයතනයේ දී  ආරම්භ කෙරේ. සෑම ඒකකයක් ම ආවරණය වන ඒකක ප්‍රශ්න පත්‍ර සමගින් නව ආරකින් ICT ඉගෙන ගනිමු... පළමු දින නොමිලේ සහභාගී වී වෙනස අත් විඳින්න.

Online සහ Offline ක්‍රම වලට ICT පංති: 6-9 පංති *** 10-11 සා.පෙළ පංති *** 12-13 උසස් පෙළ පංති විමසන්න: කිත්සිරි අබේසිංහ 071-710 64 68 - DCMC - පන්නල, ඉබ්බාගමුව. විද්‍යාලෝක - කන්‍යාරාම මාවත, කුරුණෑගල. සරසවියට පාර කියන, නව ලොව වෙත ඔබ ගෙන යන සුපිරිම ICT පංතිය - කිත්සිරි අබේසිංහ

17 March 2019

ස්මාට් ස්පීකර් ලෝකය තවත් පරම්පරාවකින් ඉදිරියට

ඇමසන් සමාගම මගින් නිර්මාණය කළ ස්මාට් ස්පීකරය වන Amazon Echo සමගින් ලෝකයේ ජනප්‍රිය වූ ස්මාට් ස්පීකර් සංකල්පය තවදුරටත් ලෝකයට ආගන්තුක නොවේ. එපමණක් නොව රූපවාහිනී යන්ත්‍රයක්, ස්මාට්ෆෝනයක් මෙන්ම ස්මාට් ස්පීකරයක්ද නිවසක සාමාන්‍යයෙන් තිබෙනා උපාංග බවට පත්වෙමින් පවතී. පසුගිය වසරේදී ඇමසන් සමාගම උත්සුක වූයේ හඬින් පමණක් සන්නිවේදනයේ යෙදෙන ස්මාට් ස්පීකර් උපාංගයට වීඩියෝ තිරයක්ද ලබාදීමටයි. පසුගිය වසරේදී Amazon Echo Show උපාංගය එළිදැක්වෙන්නේ ඒ අනුවයි. දැන් මෙම වසරේදී ඇමසන් සමාගම විසින් Amazon Echo Show උපාංගය වඩාත් වැඩිදියුණු කොට, Amazon Echo Show Second Generation නමින් එළිදක්වා තිබේ.
පසුගිය වසරේ Echo Show උපාංගය සහ මෙම වසරේ Echo Show 2nd Gen උපාංගය සසඳා බැලූ විට පැහැදිලිවම පෙනී යන කරුණ වන්නේ එහි බාහිර පෙනුම සහ සැලසුම සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවයි. පැරණි Echo Show උපාංගයේ වූ කුඩා අඟල් හතක තිරය සහ ඊට පහළින් ස්පීකරය ආවරණය කරමින් වූ දැල සමගින් වූ නිමාව ඇමසන් මගින් සම්පූර්ණයෙන්ම ඉවත් කොට ඇත. එම පැරණි උපාංගයේ තිරය චිත්‍රපටයක් හෝ වීඩියෝ අන්තර්ගතයක් නැරඹීම වැනි ක්‍රියාකාරකමකට එතරම් සුදුසු නොවීම නිසා, Echo Show 2nd Gen උපාංගය පැරණි පෙනුමට සම්පූර්ණයෙන්ම විශ්‍රාම දී නව නිමාවකින් යුතුව පැමිණීම ගැන කිසිවෙකුත් දුක් නොවෙනු ඇත.
ස්පීකරය ආවරණය වන දැලට සම්පූර්ණයෙන්ම සමුදී, වඩාත් ටැබ්ලට් උපාංගයක මෙන් සම්පූර්ණ තිර නිමාවකින් යුතුව හඳුන්වා දී ඇති Echo Show 2nd Gen උපාංගය බැලූ බැල්මට දිස්වන්නේ මේසයක් මත තබා ඇති හුරුබුහුටි, නවීන කැ‍තෝඩ නළ රූපවාහිනියක් මෙනි. මෙහි ඇති මෙම මේසය මත සි‍ටුවීමට හැකි ටැබ්ලට්-රූපවාහිනියක පෙනුම නිසා සහ අඟල් 10ක් විශාල තිරය නිසා දැන් පරිශීලකයින්ට මේ හරහා චිත්‍රපටයක් හෝ වෙනත් වීඩියෝවක් නැරඹීම ප්‍රියජනක අත්දැකීමක් වනු ඇත. එසේම අවශ්‍ය නම් මෙය ඔබට බොහෝ දුරට ටැබ්ලට් උපාංගයක් ලෙසින් භාවිතා කිරීමට පවා හැක.
මෙම නවතම Echo Show 2nd Gen උපාංගයේ අඟල් 10ක තිරයට 720p විභේදනයක් ඇත. එනම් ඔබ මේ හරහා නරඹන වීඩියෝ අන්තර්ගතයන් ඉතාම ඉහළ ගුණාත්මකභාවයකින් දර්ශනය කරවීමට මෙයට හැකියාව ඇත. එසේම මෙම උපාංගයේ වීඩියෝ තිරය ප්‍රමුඛ වන බැවින් Hulu, Vevo, NBC, Prime Video වැනි සේවාවන් පරිශීලනය කිරීම සඳහාද අවකාශය ලබාදී ඇත. කෙසේ නමුත් කුතුහලාත්මක කරුණ වන්නේ තවමත් මෙහි YouTube ප්‍රවේශය නොමැති වීමයි! එය විශාල අඩුවක් බවට සෑම දෙනෙකුටම එකඟ වීමට සිදුවන්නේ, ගීත ඇසීමේ සිට කෑම වට්ටෝරු ලබාගැනීම දක්වාද, යම් යම් දෑ ඉගෙන ගැනීමේ සිට වීඩියෝ නැරඹීම දක්වාද ලෝකයේ අතිවිශාල පිරිසක් YouTube සේවාව භාවිතා කරනා බැවිනි.
මෙම Echo Show 2nd Gen උපාංගයේ HD තිරය සමගින් වොට් 10ක ස්පීකරයන් ද්විත්වයක්ද ස්ථාපනය කොට තිබේ. මෙම ස්පීකරයන් ජවගැන්වෙන්නේ අඟල් 2ක එළැවුම් දෙකකිනි. එම නිසා ඔබට සාමාන්‍යයෙන් හමුවන කුඩා ප්‍රමාණයේ Echo ස්මාට් ස්පීකරයන්ට වඩා ඉතා ඉහළ හඬ ප්‍රතිදානයක් ලබාදීමට මෙහි ස්පීකර් පද්ධතිය සමත් වනු ඇත. එසේම passive bass radiator එකක් සහ Dolby processing හැකියාවද සමගින් මෙම උපාංගයට වඩාත් ගැඹුරු මන්ද්‍ර පරාසයක සිට වඩාත් සුපැහැදිලි ඉහළ පරාසයක් දක්වා විහිදුණු අතිවිශිෂ්ට ස්ටීරියෝ හඬ ප්‍රතිදානයක් ලබාදීමට හැකියාව ලැබී ඇත. 
මෙම Echo Show 2nd Gen උපාංගය Intel Atom x5-Z8350 ප්‍රොසෙසරයකින් බලගැන්වෙන අතර, අන්තර්ජාලය හා වඩාත් ස්ථාවර සම්බන්ධතාවයක් පවත්වාගැනිම සුරක්ෂිත කරනු වස් MIMO ද්විත්ව වයි-ෆයි ඇන්ටෙනාවක්ද මෙහි ස්ථාපනය කොට ඇත.
මේ වනවිට Amazon Echo උපාංගයන්ගේ ශක්‍යතාවයන් වඩාත් පුළුල් වී, 'ස්මාට්' වී ඇති බව නොරහසකි. ඔබට මෙය වීඩියෝ ඇමතුම් සඳහා භාවිතා කළ හැකි වීම සැබවින්ම එතරම් විශාල දියුණුවක් නොවූවත්, එය ප්‍රායෝගිකව වැදගත් කරුණකි. මේ සඳහා Echo Show 2nd Gen උපාංගයේ ඉදිරිපස මෙගා පික්සල් 5ක කැමරාවක් ස්ථාපනය වී ඇත. ඇමසන් සමාගම පවසන්නේ ඉක්මනින්ම අනෙකුත් පහසුකම් අතර ස්කයිප් සේවාවද Echo උපාංගයන් සඳහා ලබාගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි. 
ඇමසන් සමාගම මගින් ඉදිරිපත් කරනා Echo Show 2nd Gen වැනි උපාංගයක ප්‍රමුඛතම ආකර්ෂණය වන්නේ ඉහත සඳහන් කිසිවකටත් වඩා ඇලෙක්සා ස්මාට් ඩිජිටල් සහකරු බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ වනවිට ඔබට හඬ විධානයන් මගින් ඉතාමත් පුළුල් පරාසයක වැඩ කටයුතු, එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික තොරතුරු ලබාගැනීම් හා සන්නිවේදන කටයුතු සඳහා ඇලෙක්සා සහකරු යොදාගැනීමේ හැකියාව ඇත. ඔබට ආසන්නයේ ඇති සිනමා ශාලාවක ප්‍රදර්ශනය කරනා චිත්‍රපටයන් ගැන විස්තර සොයාගැනීම, කාලගුණය සම්බන්ධයෙන් දැනගැනීමේ සිට හඬ විධානයන් මගින් වෙබ් අඩවි සෙවුම් කිරීම දක්වා වන තොරතුරු අවශ්‍යතාවයන් මෙන්ම වීඩියෝ ඇමතුම් ගැනීම, පණිවුඩ යැවීම වැනි සන්නිවේදන කටයුතු වලින් ඇලෙක්සා සහකරුගේ හැකියාවන් නතර නොවේ. ඔබේ නිවස ස්මාට් නිවසක් නම්, එසේත් නැතිනම් Echo Show 2nd Gen උපාංගයට සම්බන්ධ විය හැකි ස්මාට් උපාංගයන් ඔබේ නිවසේ තිබේ නම්, හඬ විධානයන් ඔස්සේ ඒවා පාලනය කිරීමද ඇලෙක්සා ස්මාට් ඩිජිටල් සහකරුට එතරම් කරුණක් නොවේ. ඇමසන් සමාගම ප්‍රකාශ කරනා ආකාරයට මේ වනවිට ස්මාට් නිවාස උපාංගයන් දහසකට වඩා ප්‍රමාණයක් ඇලෙක්සා ස්මාට් ඩිජිටල් සහකරු සමගින් මැනවින් ගැළපේ. මෙම සියලුම පාලන කටයුතු ඔබට හඬ විධානයන් මගින් ඉ‍ටු කිරීමට හැකියාව ඇති අතර, මෙම උපාංගයේ ස්ථාපනය කොට ඇති මයික්‍රෆෝනයන් අටක පද්ධතිය මගින් ඔබ එයට ආසන්නයේ සිටියත්, එයින් ඈත කාමරයේ අනෙක් කෙළවරේ සිටියත් ඔබේ හඬ විධානයන් වටහා ගැනීමට එයට හැකි බව සහතික කරනු ඇත.
එසේම ඇමසන් සමාගම පවසන ආකාරයට, මේ වනවිට ඇලෙක්සා ස්මාට් ඩිජිටල් සහකරුගේ කුසලතාවයන් 50,000 කටද වැඩියෙන් වර්ධනය වී ඇති අතර, Echo Show 2nd Gen උපාංගයද මෙම ’Alexa Skills’ සඳහා සහාය දක්වයි. මෙයින් සෑම එකක්ම ඔබට ප්‍රයෝජනවත් නොවූවත්, එයින් බොහෝමයක් ප්‍රායෝගිකව ඔබට ප්‍රයෝජනවත් නැතිනම් අඩු තරමින් විනෝදය සපයන සුළු බව ඔබ ඉක්මනින්ම වටහා ගනු ඇත.
ස්මාට් ස්පීකර් ලෝකයේ පුරෝගාමියා වූ ඇමසොන් හි Echo උපාංගයන් පෙළ මෙතැනින් එහාට කෙවැනි ආකාරයකට දියුණු වනු ඇතිද? ඒ සඳහා උපකල්පනයන් ගණනාවක් ඉදිරිපත් කිරීමට හැකියාව ඇති අතර, එම වර්ධනය කිසිසේත්ම මන්දගාමී නොවනු ඇති බවටද මෙතෙක් දක්නට ලැබුණු Echo ස්මාට් ස්පීකර් උපාංග පෙළ සාක්ෂි දරන ඇත.
පැතුම් පුංචිහේවා

0 comments:

Post a Comment

Write your comment and submit as a massage